වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන

යෝධ පුස් වැල

රත්නපුර - බලංගොඩ මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්,  දෙල්ගස්ළඟ නගරයේ සිට මීටර් 50 ක් පමණ ඕපනායක දෙසට වන්නට මාර්ගයේ දකුණු පසින් වේ ගං ඉවුරෙහි මෙම සුවිශාල පුස් වැල පිහිටා තිබේ.මෙම පුස් වැල මුල්වරට හඳුනාගනු ලැබුවේ ර/ දන්දෙනිය විද්‍යාලයේ පරිසර සංගමය මගිනි. ඔවුනට ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වනයේ දින පහක සංචාරයක් හිමිවුණු අතර ඒ අවස්ථාවේදී සිංහරාජයේ ඇති යෝධ පුස් වැල නැරඹීමේදී එහි වට ප්‍රමාණය සෙ.මී. 138 පමණ වූ අතර දෙල්ගස්ළඟ වේ ගං ඉවුරේ ඇති පුස් වැලෙහි වට ප්‍රමාණය මැනීමේදී එය සෙ.මී. 168 පමණ වී ඇත. එය එතෙක් යෝධ පුස් වැල යැයි සැලකූ සිංහරාජයේ ඇති පුස් වැලට වඩා අඩි 03 ක් පමණ වැඩි වට ප්‍රමාණයකින් යුක්ත විය. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර එය සංරක්ෂණය කිරීම සඳහා දායක වී ඇත. එදා මෙදාතුර කාලයේ වේ ගං කොමලියට අලංකාරයක් එක් කරමින් දෙල්ගස්ළඟ නගරයේ මෙම යෝධ පුස් වැල අදටත් දක්නට ලැබේ.

රංවල වැව

පල්ලෙබැද්ද -  බලංගොඩ ප්‍රධාන මාර්ගයේ කි.මී. 08 ක් පමණ ගමන් කරනවිට අම්බැවිල මංසංධිය හමුවේ. මෙහි සිට රංවල මාර්ගයේ කි.මී. 08 ක් පමණ දුර ගමන් කරන විට ඉතා මනරම් වූ රංවල වැව අපට දැකගත හැකිය. හාන්ඳුගම, දෙල්වලකන්ද යන කඳු වලින් මෙම වැව වටවී ඇත. එලමල්පේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම වැව අක්කර 06 කට වඩා වැඩි වපසරියක පිහිටා ඇති අතර 1982 වර්ෂයේදී පමණ මෙම වැව ඉදිකර ඇත. මෙම වැවෙහි දියවර මගින් රංවල වෙල් යාය, පිටවෙල වෙල් යාය, මැදවෙල වෙල් යාය, ජම්බු ගස්වල වෙල් යාය වැනි කුඹුරු අක්කර 100 කට වැඩි ප්‍රමාණයක් අස්වද්දනු ලබයි. ඉතා මනහර වූ ගම්මානයක පිහිටි මෙම වැව සංචාරකයින් ගේ නෙත ගත පිනවීමට සමත් වී ඇති බව මෙහිදී කිව හැකිය.