වැලිගෙපොල ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය

වැලිගෙපොල ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය තිස් වසරකට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. වර්ෂ 1970 දී පමණ ආරම්භ කර ඇති කුඩා පොත් එකතුව පදනම් කරගෙන ඇරඹුණු එය වත්මන් තත්වය දක්වා පවත්වාගෙන ඒමට හැකිවී ඇත. තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක් වශයෙන් පවතින මෙම පුස්තකාලය ගතවූ කාල පරිච්ඡේදය තුල ග්‍රන්ථ සම්භාරයෙන් සැපයෙන සේවය එම ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම පාසල් සිසු සිසුවියන්ගේ දැන්ම් පවස නිවාලන්නට ජනප්‍රිය වූ පුස්තකාලය 50 වන නිදහස් සමරු දිනය නිමිත්තෙන් 1999 දී ඊට අනුබද්ධ වැලිගෙපොල ස්වර්ණ ජයන්ති පුස්තකාලය ආරම්භ කරන ලදී. ගතවූ කාල පරිච්ඡේදය හා වර්තමානය දෙස බලනවිට පුස්තකාලය සතු සම්පත් ප්‍රමාණය ඉතා සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. පුස්තකාලය විවෘතව තබන දිනයන් හා වේලාව සතියේ සඳුදා දින සිට සෙනසුරාදා දින දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 16.15 දක්වා (පස‍ළොස්වක පොහොය දින, රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි පුස්තකාලය වසා ඇත) වර්තමානය වන විට මෙහි විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාල පොත් පොත්පත් 15000 කට අධික සංඛ්‍යාවක් ඇති අතර මේ වනවිට පුස්තකාලයේ වැඩිහිටි පාඨක සංඛ්‍යාව 3100 වන අතර ළමා පාඨකයින් 300 ක් පමණ සිටියි.

පුස්තකාල සංවිධානය - පුස්තකාලයෙන් දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන සේවා අංශ පහත පරිදි වේ.‍

01.  විමර්ශන අංශය
02.  පොත් බැහැරදෙන අංශය
03.  පුවත්පත් හා සඟරා අංශය
04.  ළමා අංශය
05.  පොත් බැඳිමේ අංශය
06.  ජංගම සේවා
07.  සඟරා අංශය
08.  ප්‍රජා තොරතුරු සේවා
09.  පෝෂණ තොරතුරු ඒකකය
10.  නැණසල

 

විමර්ශන අංශය

පුස්තකාලය සතු ප්‍රධාන අංශය විමර්ශන අංශයයි. විමර්ශන අංශය භාවිතා කිරීමට සාමාජිකත්වය අවශ්‍ය නැත. තම අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් හෝ වෙනත් පිළිගත හැකි හැඳුනුම්පතක් ඉදිරිපත් කර විමර්ශන අංශයේ පොත් පරිශීලනය කළ හැක.විමර්ශන ග්‍රන්ථ වශයෙන් සැලැකෙන විශ්ව කෝෂ, ශබ්ද කෝෂ, ග්‍රන්ථ නාමාවලි, වාර්ෂික ග්‍රන්ථ, පාරිභාෂිත ශබ්ද මාලා සිංහල හා ඉංග්‍රීසි බසින් ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථ එකතුවක්, පුවත්පත් ලිපි එකතුවක් ද විමර්ශන අංශයේ තොරතුරු අතර වේ. ඊට අමතරව විශේෂ කෘති එකතුවක් ප්‍රාදේශීය තොරතුරු එකතුවක් සහ සබරගමුව සම්බන්ධ එකතුවක් විමර්ශන අංශයේ එකතූන් අතර වේ.පොත් බැහැරදෙන අංශය පොත් බැහැර ගෙනයාම සඳහා පුස්තකාලයේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි විය යුතුය. සාමාජික බලපත්‍ර 02 ක් නිකුත් කරන අතර දින 14 කට පොත් 02 ක් නිකුත් කරනු ලැබේ.

 

ප්‍රමාද ගාස්තු අය කිරීම

පුස්තකාලයෙන් නිකුත් කරනු ලබන පොත්පත් නියමිත දිනට ආපසු භාරදිය යුතුය. ප්‍රමාදව භාරදෙන පොත් සඳහා දිනකට රුපියලක් බැගින් දඩ අය කරනු ලැබේ. නැති වූ පොත් සඳහා එම පොතේ මිලට අමතරව 25% දෙපාර්තමේන්තු ගාස්තුවක් ද අය කරනු ලැබේ.

 

පුස්තකාල සාමාජිකත්වය

• වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ස්ථිර පදිංචි අයෙකු විය යුතුය.

• වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල රජයේ ආයතනයක සේවයේ නියුතු අයට අයදුම්කරුගේ ඇපකරුවකු ලෙස අත්සන් කළ හැකිය.

• ඇපකරු පාර්ලිමේන්තු/පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු/ නීතීඥ වරයෙකු/ වෛද්‍යවරයෙකු/ සමාදාන විනිශ්චයකාරවරයෙකු/ විහාරාධිපති ස්වාමීන් වහන්සේ කෙනෙකු හෝ රු. 167,880.00 නොඅඩු වාර්ෂික වැටුපක් ලබන රජයේ හෝ සංස්ථාවක නිලධාරියෙකු විය යුතුය.

• ස්ථිර පදිංචි කරුවෙකු බව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතුය. ළමා සාමාජිකත්වය වයස අවුරුදු 06 – 14 හා වැඩිහිටි සාමාජිකත්වය වයස අවුරුදු 14 ට වැඩි අවුරුදු 02 කට සාමාජිකත්වය ලබාදීම සඳහා රු. 40.00 ක මුදලක් අය කෙරේ. නැවත අලුත් කරවා ගැනීමේ ගාස්තු රු. 30.00 ක් වේ. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිටත පදිංචි අය සභා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කිරීම හා පාසලක ඉගෙනුම ලැබීම සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකමකි. වැලිගෙපොල බල ප්‍රදේශයේ සිට කි.මි. 05 ක් දුරින් පදිංචි අය සඳහා රු. 500.00 ක ඇප තැන්පත් මුදලක් තැන්පත් කිරීමෙන් පසු සමාජිකත්වය ලබාගත හැකි වේ.

පුවත්පත් හා සඟරා අංශය

සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් පලවන දිනපතා හා සතිපතා පුවත්පත් මිලදී ගනු ලැබේ. ඊට අමතරව ශාස්ත්‍රීය, විනෝදාත්මක, අධ්‍යාපනික හා ආගමික සඟරා මිලදී ගනී. මීට අමතරව පුවත්පත් කැපුම් සේවාවක් විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාලව ඇත.

 

ළමා අංශය

ළමා වියේදීම දැනුම අඩංගු පොත පත හඳුන්වා දීම ඉගෙනීම සඳහා කියවීමට හුරු කරවීම සහ ළමා කුසලතා ඔප නැංවීමට උනන්දු කරවීම සඳහා ළමා අංශය ක්‍රියාත්මක වේ. විවිධ විෂයන්ට අදාල පුවත්පත් අතිරේක හා පුවත්පත් කැපුම් එකතුවක් ළමා පාඨක අවශ්‍යතාව සඳහා සකස් කර ඇත.

 

පොත් බැ‍ඳීමේ අංශය

පාඨකයා විසින් පරිහරණය කර අබලන් වූ පොත් බැඳුම්කරණය සඳහා යොදාගනී.

 

සඟරා අංශය

අධ්‍යාපනික, ක්‍රීඩා, ආගමික, පාරිසරික, වෛද්‍ය, ලෝක තොරතුරු ඇතුලත් සඟරා වලින් සමන්විතය.

 

ශාඛා පුස්තකාල

01. වැලිගෙපොල ස්වර්ණ ජයන්ති පුස්තකාලය (වැලිගෙපොල නගරයේ සිට කි.මි. 01 පමණ දුරින් කැළෑගම්මන ප්‍රදේශයේ පිහිටා ඇත)
02. ගල්පාය සෙවණ පුස්තකාලය (පල්ලෙබැද්ද සිට ගල්පාය මාර්ගයේ 08 පමණ දුරින් ගල්පාය ප්‍රදේශයේ පිහිටා ඇත )
03. අකරැල්ල විහාරස්ථානය කියවීම් ශාලාව (උඩවෙල නගරයේ සිට කි.මි.05 පමණ දුරින් අකරැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත)

 

ඉහත සඳහන් සේවයන්ට අමතරව ඔබට අවශ්‍ය තොරතුරු සැපයීමටත් මග පෙන්වීමටත් පුස්තකාලයේ සේවය කරන අප නිරතුරුවට කැපවී සිටියි. ඔබේ මුදලින් නඩත්තු වන මෙම පුස්තකාලය ඔබේම මතු පරපුර වෙනුවෙන් රැකගනිමින් අප විසින් ලබාදෙන පාඨක සේවය හොඳින් හඳුනාගෙන ප්‍රයෝජනය ලබා ගැනීම ඔබ සතු කාර්යයක් වන්නේය. ඒ සඳහා පුස්තකාලය තුල බල පවත්වන නීති රීති වලට පටහැනිව නොයාමටත් පොත් පත් ඇතුලු පුස්තකාල ද්‍රව්‍ය රැක ගනිමින් ප්‍රයෝජනයට ගැනීමටත් සැළකිලිමත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටි. එසේම පුස්තකාලයේ සංවර්ධනය මෙන්ම ප්‍රවර්ධනය උදෙසා ඔබගේ යෝජනා, අදහස් සහ සහයෝගය අපවෙත ලබාදෙන්න. මතු පරපුර වෙනුවෙන් ඔබේ විශේෂ දිනයන් හිදී පුස්තකාලයට පොතක් පරිත්‍යාග කර උතුම් සමාජ මෙහෙවරට දායක වන්න.

 

වැඩි විස්තර සදහා අමතන්න 045-2270410