වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති පුජනීය ස්ථාන

 

ඓතිහාසික බඹරගල අරණ

සමනල බුදු සිරිපා පහස ලද රත්නපුර පුරවරයෙහි සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන මහා මාර්ගයේ පල්ලෙබැද්ද නගරයෙන් වමට හැරී ඉදිරියට ඇති මාර්ගය ඔස්සේ සැතපුම් තුනහමාරක් පමණ දුර ගමන් කරනවිට මුත්තෙට්ටුපොල  ග්‍රාම සීමාව නිමවනවාත් සමඟ ආරම්භ වී. වලවේ ගඟ දක්වා පැතිරී ඇති තැනිතලා ප්‍රදේශය ගල්පාය නමින් හැඳින්වේ. අක්කර 12000 ක පමණ භූමි ප්‍රමාණයක් වූ ගල්පාගම මේ වනවිට ගල්පාය සහ බඹරගල වශයෙන් කොට්ඨාශ දෙකකට බෙදී ඇත. මෙහි පිහිටි උසට දිස්වන මහ ගිරි ශිඛර ඈතට දිස්වන්නේ  ගල්පාය ගම ආරක්ෂාවට යොදවාලූ ප්‍රතාපවත් යෝධයන් මෙනි. තුරුලතාවන්ගෙන් සිසිලස ලබමින් ගිරිශිඛර ප්‍රදක්ෂිණා කරමින් අගනා මිණිකැට දිය යට සඟවමින් දුර මගක් ගෙවා පැමිණ විඩා හරින්නාක් මෙන් ගම මැදින් ලැසි ගමනින් යන කුඩා ඔය නම් ගංඟා කොමලිය ගමේ සුන්දරත්වය තව තවත් ඔපවතත් කර මව වැළඳගන්නා දැරියක සේ වලවේ ගං මාතාවගේ තුරුලේ සැඟවේ. 


මේ සිරිමත් ගල්පාය නැමති  නුවරට  රජෙකු බඳු වූද කළුවර, කළුමැදිරිය, කළුවැල්ල.බුරුත, හල්මිල්ල,පලු.වීර, ඇට්ටේරිය, ගල් සියඹලා යනාදී දුර්ලභ ගණයේ අගනා වෘක්ෂ හා බිං කොහොඹ,විෂ්ණු ක්‍රාන්ති,රසකිඳ, කොතල හිඹටු, සස්සඳ, යකි නාරං, හාතවාරියා,ඊතණ, කොමාරිකා, සිරිවැඩිබැබිල, හීංබෝවිටියා, කඩුපුල්, බේඳුරු.මූනමල්, ඉඟිනි, මඟුල් කරඳ, යනාදී දුර්ලභ වූ ඖෂධයන්ට තෝතැන්නක් වූ ද ගොණුස්සන්, දිවි මකුළුවන්,හා නයි, පොළොන්,මාපිලුන්,පිඹුරන්,කරවලුන් ආදී විෂ ඝෝර සර්පයන්ට හා අලි,කොටි,මුව,රිලා, වඳුරු,දඬු ලේනන් ආදී සතුන්ගේ හා මොණරුන්, ගිරවුන්,මයිනන්, සැළලිහිනියන් ආදී පක්ෂින්ටද, එසේම බඹර, දෙබර, මීමැසි ආදීන්ට ද නිජ භූමියක් වූත් මහ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ෂයෙන් අති පාරිශුද්ධත්වයට පත්වූ ශත වර්ෂ 23 ක පමණ දුරකට නෑකම් කියන අක්කර 800 ක් පමණ විශාල භූමි ප්‍රදේශයක විසිරී තිබෙණ රමණීය මනස්කාන්ත පරිසරයකින් යුක්ත වූ බඹරගල පර්වත රාජයා හමුවේ. මෙම කඳු ශිඛරය පාමුල නටඹුන් වූ වෙහෙර විහාර, ගල්ලෙන්,ශිලා ලේඛන ශතවර්ෂ 23 ක් පමණ ඈත ඉතිහාසයකට අප රැගෙන යයි.


මෙම සේනාසනය වලගම්බා රජ දවසේ ඇතිවූ බැමිණිටියා සාය නැමති  නියඟයට වල් බිහිවීමෙන් පසු මෑත කාලයේ එනම් 1951 දී පමණ මෙම ස්ථානයට වැඩමකළ එක්තරා ස්වාමීන්වහන්සේ නමක් අවුරුදු කිහිපයක් වැඩ සිටි බවද පැරණි ගම්වාසීහු පවසති. 


මේ අතර 1968/11/22 වන දින මෙම ස්ථානයට වැඩම කළ ගොතටුවේ ධම්මානන්ද ලොකු ස්වාමීන්වහන්සේ හා වෙහෙරවත්තේ ඉන්දසුමන සාමනේරයන් වහන්සේත්, මෙම ස්ථානයෙහි පෞරාණික තත්වය අවබෝධ කරගෙන මෙම ස්ථානය තව දුරටත් විනාශ වීමට ඉඩ නොදී රැකගැනීමේ උදාර අදහසින් ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද විහාරයක්, දර්ශණිය පිරිත් මණ්ඩපයක්, ධර්ම ශාලාවක්, කාර්යාලයක් ආදී ගොඩනැගිලි රාශියකින් යුක්ත වූ අංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් බවට පත්වී ඇත.


මෙම බඹරගල ආරණ්‍ය සේනාසනයේ පැරණි ඉතිහාසය හෙලිකරන විහාර, චෛත්‍ය. ගල්ලෙන්, ශිලා ලේඛන, ගල් කණු දක්නට ඇති අතර මේ හා බැඳුනු ජනප්‍රවාද රාශියක්ද ඇත.මෙම කන්ද පාමුල විසිර ගිය ගල් කණු ,ගඩොල් කැට පිරිවර කොට ඇති විහාරය හා චෛත්‍යය පිහිටා තිබේ. එයින් ප්‍රථමයෙන් හමුවන්නේ විහාරයයි. මෙමම විහාර ගොඩනැගිල්ල උඩ ගල්කණු විසිඑකක් පමණ වේ.  මින් ගල්කණු  දහතුනක් මට්ටම් කර ඇති අතර ඉතිරි ගල්කණු අට මට්ටම නොකරන ලද  ඒවාය. එම මට්ටම් කළ ගල් කණුවක උස අඩි නවයයි අඟල් හයක් පමණ වන අතර වට අඩි පහයි අඟල් හතරක් පමණ වේ. එම මට්ටම් කළ ගල්කණු පෙනෙන ලෙස නිමවා තිබුණු ඒවා විය හැකිය. එසේ නොකළ ගල්කණු බිත්තියට වැසි තිබුණු ඒවා විය හැකිය. මේ විහාර ගොඩැල්ල අවටද තවත් ගල්කණු සිය ගණනක් දක්නට ඇත. මෙම ස්ථානයේ නෂ්ටාවශේෂ අතර පිළිම දෙකක් ඇත. ඉන් ප්‍රධාන වශයෙන් තිබෙන්නේ බුදු පිළිමයයි.  මෙය හිටි පිළිමයකි.මෙම පිළිමය සම්පූර්ණයෙන් අඩි දහයක් හෝ දොලහක් පමණ උසට තිබෙන්නට ඇත. නිධන් හොරු විසින් මෙම පිළිමය කැබලි වලට කඩා බිඳ දමනු ලැබ ඇත. මෙම පිළිමයෙහි සිරස මෑත කාලයක් වනතුරු තිබී ඇති අතර එම සිරසද සොරුන් විසින් ගෙන ගොස්  ඇත.  මෙම ස්ථානයේ තිබෙණ අනෙක් පිළිමය මෙය කරවන ලද රජුගේ පිළිරුව හෝ දේව පිලිමයක් යැයි සිතිය හැක. කෙසේ නමුදු මෙම පිළිමයෙහි ඉඟටියෙන් පහල කොටස පමණක් දැක ගැනීමට ඇත. මෙම පිළිමය අඩි හයක් හෝ හතක් පමණ උසට තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. කිරිඇල්ලේ ඥාණවිමල හිමිපානන් විසින් 1942 දී ලියන ලද “සපරගමුවේ පැරණි ලියවිලි” නැමති ග්‍රන්ථයේ මෙම පිළිරුවේ ඡායාරුපයක් ඇති අතර එවකට මෙම පිළිරුවෙහි ගෙලෙන් පහල කොටස සම්පූර්ණයෙන්ම තිබී ඇත. ඉන්පසු එහි අනිත් කොටසට කුමක් වීදැයි දන්නා කිසිවෙකු මෙතෙක් හමු නොවුනි. මෙම ස්ථානයේ තිබෙණ පඩිපෙල පාමුල එක් මුරගලක් ඇති අතර එය කැඩී බිඳී ගොස් ඇත. මෙම මුරගල සම්පූර්ණයෙන් අඩි දෙකහමාරක් පමණ උසට තිබී ඇති බවට සිතිය හැක. මෙම පඩිපෙල අබියස මදක් යටට හාරන ලද එක් පඩියක් දැකගත හැකි වේ. මෙය දෙපා සේදීමට තිබුණු එකක් වියහැකියැයි අනුමාන කළ හැකිය. 


මෙහි කොරවක්ගල් දෙකක් සහිත පියගැටපෙලක් දක්නට ලැබෙණ අතර මෙයට මදක් ඉදිරියෙන් ගහකට ස්පර්ශ කර ඇති තවත් කොරවක්ගල් දෙකක්ද දක්නට ලැබේ. එහි යටපැත්ත පසුකාලයක ඹෟෂධ හෝ වෙන යම්කිසි ද්‍රව්‍යයක් ගලගාන්ට යොදාගත් බවක් පෙනෙයි. මෙලෙස කොරවක්ගල් හතරක් තිබීමත්, විහාර ගොඩනැගිල්ල පොළව මට්ටමේ සිට අඩි හයක් පමණ ඉහලින් තිබීම නිසාත් මෙම විහාරය වටමාලයක් සහිත විහාරයක් විය හැකි යයි අනුමාන කළ හැක. මෙම ස්ථානයේ ගල්කණු හා පසුව සඳහන් කළ කොරවක්ගල් දෙක හැර අනිත් සියලුම පිළිම,කොරවක්ගල්, පියගැටපෙල ආදී සියල්ල ම නෙළා තිබෙන්නේ මාලිගාවිල බුදු පිළිමය, බෝධිසත්ව පිළිමය ආදිය නෙළා ඇති ගල් වර්ගයෙන්ම වීම විශේෂයකි. මෙම ගල් විශේෂය මෙම ප්‍රදේශයේ දැකගැනීමට නොලැබීම තව දුරටත් සිත යොමු කළයුතු විශේෂ කරුණක් වන්නේය.


මෙම විහාර ගොඩැල්ල පසුකර මදක් නැගෙනහිර දෙසට ගමන් කරනවිට උතුර දෙසට ගල්කණු තිබෙණ ස්ථානයක් හමුවේ. මෙය බෝධිඝරය තිබුණු ස්ථානය විය හැකිය. මෙම ස්ථානය පසුකරන විට හමුවන්නේ චෛත්‍යය පිහිටි ස්ථානයයි. චෛත්‍යය වටා ගල් වැටක්ද ඇත. එය මෙම දාගැබෙහි අත්තිවාරම යැයි සිතිය හැකි අතර එම ගල්බැම්ම වටේ දිග අඩි දෙසිය තිස් පහක් පමණ වේ. මෙම ගල්බැම්මේ සිට ඉහලට අඩි හතලිහක් පමණ වේ. මෙය කොපමණ විශාල දාගැබක්දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද මෙහි අති විශාල දාගැබක් ඉදිවී තිබූ බව පෙනේ. 
මෙම ස්ථානයට මදක් උතුරින් රමණීය පිණ්ඩපාත ශාලාව දැකගත හැකි වේ. මෙම ස්ථානයට මදක් දුරින් වර්තමාන මාර්ගයට වම් පැත්තෙන් තවත් ගල්කණු තිබෙණ ස්ථාන දෙකක් ඇති අතර එය ඇතමුන්ගේ අදහසට අනුව දේවාල තිබූ ස්ථාන ලෙස සැලකිය හැක. තවත් සමහරෙකුගේ අදහස එය දාන ශාලාව හා ධර්ම ශාලාව තිබූ ස්ථාන බවය. 


මෙම ස්ථානයන් පසුකර ඉදිරියට ගමන් කරනවිට වර්තමාන පියගැටපෙල හමුවේ. මුලින් සදහන් කළ පියගැටපෙල පසු කරත්ම සුදු වැලි අතුරා ඇති මළුව දැකගත හැකි වෙයි. මෙම මළුව ගොඩකර ඇත්තේ ගොතටුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්ය. උන්වහන්සේ මෙම සේනාසනයට වැඩමවන කළ තිබුණේ අඩි පහක පමණ කුඩා මළුවකි. මෙය ප්‍රමාණවත් නොවන නිසාත්, පය තැබීමට පියගැටපෙලක් නොමැති නිසාත් සුවිශාල ගලින් නිමකරන ලද බැම්මක් බැඳ මළුව සකස් කරන්නට යෙදුනු බව ගම්වාසීහු පවසති.


මේ මළුව ආරම්භයේම වර්තමාන රමණීය බුදු මැදුර හමුවේ. මෙම විහාරයට පහලින් මුල් කාලයේ වැඳුම් පිදුම් කළ විහාරය පිහිටා ඇත. එහි 1988/03/09 දින මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී වනවාස මහා  නිකායේ ද්විතීය මහා නායක සිංහරාජප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය පට්ටියවෙල ශ්‍රී රෝහණසිරි මාහිමිපානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සීමා සමමත විනය කර්මය සිදුකර ඇත. 


මුලින් සඳහන් කළ විහාරයට පිටුපසින් බෝ මළුව හා මහානුභාවසම්පන්න බෝධි රාජයා පිහිටුවා තිබේ. මෙම බෝධිය කොපමණ ඉපැරණි බෝධියක්ද යන්න පිළිබඳව මෙම ස්ථානය ආරම්භයට උරදුන් දායක පින්වතුන්ගෙන් විමසූවිට දැනගැනීමට ලැබුණේ තමන් කුඩා කාලයේදීත් මෙම බෝධිය මෙපමණ විශාලත්වයෙන් තිබුණු බවයි. කේසේ නමුත් මෙම බෝධිය ශත වර්ෂ දෙකක් හෝ තුනක් පැරණි යැයි සිතිය හැක. මෙම බෝධිය මහත් අනුහස් ඇති බවට විශ්වාස කරන අතර සතර දිග්භාගයෙන් පැමිණෙන සැදැහැවත්හු මෙම බෝධීන් වහන්සේ අභියස මසකට බෝධිපූජා වාර බොහෝ ගණනක් පවත්වති.


මෙම බෝධියට ඉදිරියෙන් වූ ගලෙහි පළමුවන සෙල් ලිපිය කොටා තිබේ. එය නාගර අක්ෂරයෙන් පේලි දෙකකට කොටා ඇත. මෙය කොටා ඇත්තේ සිහල බසින්ය. ප්‍රථම පේලියේ “අනතේනිසා (මී)” යනුවෙන් සටහන් කර ඇති අතර එම පේලිය අඩියයි අඟල් පහක් පමණ ඇත. දෙවන පේලියේ “අමීගේ ගල්ගේ” යනුවෙන් සටහන් කර ඇති අතර එම පේලිය අඩියයි අඟල් අටක් පමණ ඇත. මෙම ලිපියේ සටහන් කර ඇත්තේ ශතවර්ෂ අටක් පමණ පැරණි අක්ෂරයෙන්ය මෙහි ඇතැම් කොටස් විනාශ වී ඇතැයි සිතිය හැත. එම ශිලා ලේඛනය යටින් ඊ තලයක් සහිත දුන්නක් හා කඩුවක් කොටා ඇත. මෙම ස්ථානය අසලම තිබෙණ ගොඩනැගිල්ල වර්තමානයේ උපස්ථාන ශාලාව වශයෙන් යොදාගෙන ඇත.


මෙම ශාලාවට යාබදවම තිබෙණ ගල පහලින් පළමුවන ලෙන පිහිටා ඇත. මෙම ලෙනෙහි කටාරමට මදක් පහලින් දෙවන ලිපිය කොටා ඇත. මෙය භ්‍රාහ්මී අක්ෂරයෙන් කොටන ලද ශතවර්ශ විසි දෙකක් හෝ විසි තුනක් පමණ පැරණි අකුරින් තනි පේලියට  “උපතිශහ” යනුවෙන් සඳහන් කර ඇත. එහි අදහස උපතිස්සගේ ගල්ගේ යනුයි. මෙම ලිපිය අඩියයි අඟල් දෙකක් පමණ ඇත. මේ ලිපිය හා මුලින් සඳහන් කළ පළමු ලිපිය යන දෙකෙන්ම මේ එකම ගල් ලෙනෙහි අයිතිකරුවන් ගැන සඳහන් වේ. මෙයින් මුල්ම අයිතිකරු නම් ශතවර්ශ 23 ක් පමණ පැරණි ලිපියේ සඳහන් වන උපතිස්ස නැමති අයිතිකරුයි. මෙම සේනාසනය වල් බිහිවීමෙන් පසු ශතවර්ශ අටක් පැරණි ලිපියේ සඳහන් වන පරිදි “අමි” නැමැත්තා කිසියම් කරුණක් සඳහා පාවිච්චියට ගන්නට ඇතැයි සිතිය හැකියි. 


මෙහි ධර්ම ශාලාවටත් කාර්යාලයටත් අතරින් පිහිටා ඇති පියගැටපෙලෙන් පහලට  ගමන් කරන විට ශතවර්ෂ විසිතුනක් පමණ පැරණි සෙල් ලිපියක් දැක ගැනීමට හැකිවේ. එය පතුරු ගැලවී ගොස් ඇති නිසා මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවිය නොහැකිය. කෙසේ නමුත් එය අඩි හයක් පමණ දිගය. එහි අකුරු දහයක් පමණ තිබී ඇත. එහි පළමු අකුර “ණ” යන්නත් පස්වන අකුර “ශ” යන්නත් වන අතර අන්තිම අකුරු තුනෙන් “තිශහ” යන පදය සටහන් කර තිබේ. එහි අදහස තිස්සගේ යනුයි. මෙයට අඩි හතරක් පමණ පහලින් වලක් දැකගත හැකිවේ. මෙය නිධානයක් තිබූ ස්ථානයක් ය. මෙයට අඩි හතරක් පමණ පහලින් වලක් දැකගතහැකි වෙයි. මෙය නිධානයක් තිබූ ස්ථානයක් ලෙස සැලකිය හැක. මෙය අසල බෙහෙත් ගලගෑ තැනක් ද හිරු මුහුණ හා සමාන මුහුණක්ද දැකගත හැකිය. මෙයට අඩි පහක් පමණ පහලින් දික් හැඩයේ කොටුවක් දැකගත හැකිවේ. එම කොටුව තුලත් යම්කිසි ලිපියක් තිබෙන්නට ඇතැයි සිතිය හැක. මෙම ලිපිය තිබෙණ ගලට මදක් නුදුරෙන් තිබෙණ කළුවැල්ල ගස අසල අලි ලැග්ගාවල පිහිටා තිබේ. මෙම වළවල්වලට  අලි ලැග්ගාවළ කියනු ලබන්නේ මෙම සේනාසනය පටන‍් ගැනීමට පෙර අලි රංචු මෙම ස්ථනයේ ලැගුම් ගැනීමට පුරුදුව සිටි නිසා බව පැරණි ගම්වාසීන් පවසති. මුලින් සඳහන් කළ තුන්වන ලිපිය තිබෙණ ගල පාමුලින් තිබෙණ මාවත ඔස්සේ බස්නාහිර දෙසට ගමන් කරනවිට මංසංධියක් හමුවේ. එයින් නිරිතදිග දෙසට ගමන් කළවිට දර්ශණීය අතුපතර විහිදී ඇති රමණීය,සිත්කලු, ඉපැරණි බෝධීන් වහන්සේ නමක් හමුවේ. මෙම බෝධීන්වහන්සේ ශතවර්ෂ පහක් හෝ අටක් පමණ පැරණි බෝධියක්යැයි සිතිය හැක.  


මුලින් සඳහන් කළ ධර්මශාලාව ඉදිරියෙහි වූ සඳකඩපහණක්, මුරගල් දෙකක්, කොරවක්ගල් දෙකක්, පුන්කලස්, වළා පෙළවල්, ඇත් පවුර, පහන් කුලුණු ආදියෙන් හා පොකුණකින් වටවුනු සිත්ගන්නා සුලු දර්ශණීය පිරිත් මණ්ඩපය දැකගතහැකිවේ.මෙයට මදක් නුදුරින් පිහිටි පඩිපෙලින් ඉහලට යත්ම කටාරම් කොටන ලද ගල් ලෙණක් හමුවේ. මෙය කටාරම් කොටනලද දෙවන ගල් ලෙණය. මෙම ගල් ලෙණට ඉදිරියෙන් බස්නාහිර දෙසට යනවිට දඹරැල්ලෙන නැමති තුන්වන ලෙණ හමුවේ. මුලින් සඳහන් කරන ලද දෙවන ලෙන ලඟින් නැගෙනහිර දෙසට ගමන් කරනවිට පාරෙන් පම්පසෙහි හතරවන ලෙන හමුවේ. මෙහි පතුරු ගැලවී ඇති නිසා ලිපියක් තිබුණාදැයි පැහැදිලි නැත. මෙම ලෙනත් පසුකර ඉහලට ගමන් කරනවිට පස්වන ලෙන හමුවේ. මෙම ලෙනත් වර්තමානයේ බිත්ති බැඳ පාවිච්චියට ගනියි. මෙම පස්වන ලෙනට යාබදවම උතුරු පෙදෙසින් හයවන ලෙන පිහිටා තිබේ. මෙම ගල් ලෙණෙහි කටාරමට අඩි දෙකක් පමණ පහලින් හතරවන ලිපිය කොටා ඇත.  එය අඩි පහයි අඟල් දෙකක් පමණ වන ශිලා ලේඛනයක් වන අතර එම ලිපියෙහි අක්ෂරයක් අඟල් හයක් පමණ විශාල වේ එහි මෙලෙස සඳහන් වේ. “ගමික ශෝණ කුලශ දනේශගශ”ග්‍රාමික ගෝණගේ කුලයේ දානය සංඝයා වහන්සේටයි යන්න එහි අදහසයි. එයින් කියා ඇත්තේ ගම්නායක ශෝණගේ කුලයෙන් මෙම ලෙනෙහි වැඩ සිටින සංඝයා වහන්සේට දානය දිය යුතුය යන්නයි.


මුලින් සඳහන් කරන ලද පස්වන ලෙන ඉදිරියෙන් පිහිටි මාවත ඔස්සේ මදක් ඉහලට ගමන් කරන විට බස්නාහිර පෙදෙසින් හත්වන ලෙන හමුවේ. මෙය නම්කර ඇත්තේ සළු  ගල්ලෙන යන නමිනි. මීට අවුරුදු තිස්පහකට පමණ පෙර ඉන්ද්‍රසුමන ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කළ අවස්ථාවේදී මෙම ලෙනේ හුණු කෑල්ලකින් “සළුලෙන” ලෙස ලියා ඇති අතර එමනිසා මෙම ලෙන සළුගල්ලෙන නමින් හඳුන්වා ඇත. මෙම ලෙනට යෑමට තිබෙණ ස්ථානයෙන් මදක් කන්ද දෙසට ගමන් කරනවිට අටවන ලෙන හමුවේ. මෙම ලෙන මෑත කාලයේ බිත්ති බැඳ සකස් කරන්නනට කීප වතාවක් උත්සාහ කර ඇතත් මෙහි වැඩ අවසන් කරන්නට නොහැකි වී ඇත. කුමන හේතුවක් නිසා හෝ වැඩ නතර කිරීමට සිදුවී ඇත. සුන්දර ස්ථානයක පිහිටා ඇති මෙම ලෙනෙහි සේනාසනයෙහි ඇති දිගම ශාලා ලේඛනය කොටා ඇත. මෙම ලිපිය අඩි දහතුනයි අඟල් අටක් පමණ දිගය. මෙම ලිපියේ මෙසේ සඳහන් වේ. “ගමික ශෝණ පුත දිගශුමනශ ව දමරකිතශ ච ලෙණෙ මනපදශනේ” එහි අදහස ගම් නැයක ශෝණගේ පුත්‍ර වූ දීගසුමනගේද ධම්මරඛ්කිතගේද ලෙන මනෝපදෝසන නම් වේ යනුයි. මෙහි අක්ෂර විසි නවයක් ඇත. මෙම ලිපියේ අවසානයේ සඳහන් වන මනෝපදෝසන කියන අර්ථයට අනුව මෙම ලෙන පිහිටා ඇති ආකාරයත් විශාලත්වයෙනුත් සිත්ගන්නාසුළු බැවින් මෙම ලෙනටමනෝපදෝසන යැයි නම් කරන්නට ඇත. 


අටවන ලෙනට යාබදවම පිටුපසින් නවවන ලෙන පිහිටා ඇති අතර එහි හයවන ශිලා ලිපිය කොටා ඇත. එම ලිපියෙහි මුලින් “ගමික ශෝණ” යන පාඨය සඳහන් වේ. මෙම ලිපියේ අනෙක් කොටස කියවීමට නොහැකිය කෙසේ වෙතත් මෙම ලිපිය අඩි පහයි අඟල් හයක් පමණ දිගය. මෙම නවවන ලෙනට මදක් පහලින් ගිණිකොණ දෙසට ගමන් කරන විට දසවන ලෙන හමුවේ. බඹරගල කන්දේ දැනට සොයාගෙන ඇති කටාරම් කොටන ගල්ලෙන් අතර කුඩාම ගල්ලෙන මෙයයි. 


මුලින් සඳහන් කළ පස්වන ලෙනටත් හයවන ලෙනටත් අතරින් පිහිටි මාර්ගය ඔස්සේ මද දුරක් යනවිට විශාල ගලක් හමුවේ. මෙම ගල හඳුන්වන්නේ දහයියා ගල ලෙසය. මෙම ගලට නොගොස් ගල අයින දිගේ අතුරු දෙසට ගමන් කරන විට අත්තිවාරමක් දැකගත හැකි වෙයි. මෙය ඒ කාලයේ සංඝාරාමයක් තිබූ ස්ථානයක් ලෙස සිතිය හැකිය. 


මෙම ස්ථානයට යාබදව ඊසාන දෙසට වත්ම කටාරම් කොටන ලද එකොලොස්වන ලෙන පිහිටා ඇත. මෙම එකොලොස්වන ලෙන අසලින් නැගෙනහිර දෙසට ගමන් කරත්ම උතුරු දෙසින් කුඩා පියගැටපෙලක් දැකගත හැකි වේ. එම පියගැට ඔස්සේ ඉහලට යත්ම නැගෙනහිර දෙසින් දොලොස්වන ලෙන පිහිටා තිබේ. මෙය ඉදිරියෙන් විශාල ගල්කුලක් දැකගත හැකිය. මෙම ලෙන තුන් පැත්තෙන්ම වටවී තිබේ. මෙම ලෙනෙහිද අඩි පහයි අඟල් පහමාරක් පමණ දිග හත්වන ලිපිය කොටා ඇති අතර එහි මෙලෙස සඳහන් වේ. “මුලදෙවශ ගමික ලඬ්කශ” එහි අදහස නම් මූලදේවගේ හා ගම් නායක ලඬ්කගේ ලෙන යනුය. එයින් තහවුරු වන්නේ මූලදේව නැමැත්තාත් ලඬක  නැමැත්තාත් මෙම ලෙනෙහි විසූ බවය. 


දොලොස්වන ලෙන සිට උතුර දෙසට ගමන්කර නැවත නැගෙනහිර දෙසට ගමන් කරත්ම දහතුන්වන ලෙන හමුවේ. මෙම ලෙන තුල බිත්ති බැඳ කොටසක් වෙන්කොට තිබී ඇත. මෙම ලෙනේ මෑතක් වනතුරු දහයියා තිබුණු නිසා මෙය වී ගබඩාව ලෙස සකසා තිබූ ස්ථානය යයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. මෙය වි ගබඩාව ලෙස සිතීමට ඇතුලේ බිත්ති බැඳ තිබීම එක හේතුවක් වේ. මෙම ලෙනෙහිද කටාරමට අඩියක් පමණ පහලින් ශතවර්ෂ විසි දෙකක් හෝ විසි තුනක් පමණ පැරණි භ්‍රාහ්මී අක්ෂරයෙන් කොටන ලද අඩි දෙකයි අඟල් නවයක් දිග අටවන ලිපිය දැකගත හැකි වේ. එහි මෙලෙස සඳහන් වේ. “ගමික වශබශ ලෙනේ ශගශ” යනුවෙන් සඳහන්ව ඇති අතර එහි අදහස ගම්නායක වශබ නැමැත්තා මෙම ලෙන සකස් කර සංඝයා වහන්සේට පූජා කළ බවයි. 


දහතුන් වන ලෙනට පැමිණෙන මාවත ඔස්සේ බස්නාහිර දෙසට ගමන් කරත්ම දාහතර වන ලෙන හමුවේ. මෙම බඹරගල කන්දේ ඇති ගල්ලෙන් අතුරෙන් දැනට සොයාගෙන ඇති විශාලම ගල්ලෙන මෙයයි.  මෙම ගල් ලෙනේ කටාරම් කොටා ඇත්තේ පහල කොටසේ පමණි එයින් අපිට සිතාගැනීමට ලැබෙන්නේ පහල කොටස පමණක් පාවිච්චියට ගත් බවයි. කෙසේ වෙතත් මෙම ලෙන සම්පූර්ණයෙන්ම අක්කර භාගයක පමණ ඇත. දැන් මේ ගල් ලෙන වවුලන්ගේ රජදහන බවට පත්කරගෙන ඇත. 


දාහතරවන ලෙන අසලින් පහලට ගමන් කර දහයියා ගලට නැගිය හැකිය. ප්‍රථමයෙන්ම හමුවන ගල මෙය වේ. මෙම දහයියා ගල අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක පැතිරී ගොස් ඇති අතර ගල මුදුන්ට ගියවිට අවට සුන්දර පරිසරය දිස්වෙයි.  මෙම ගලට දහයියා ගල ලෙස පැවසෙන්නේ කුමක් නිසාදැයි ගම්වාසීන්ගෙන් විමසීමේදී වැඩි දෙනෙකු පැවසුවේ මෙම ගල මත දහයියා තිබුණු බවයි. එම නිසා මෙම ගලට දහයියා ගල ලෙස නම් කළ බව කියැවේ. මුලින් සඳහන් කරන ලද දහතුන්වන ලෙන වී ගබඩාව ලෙස භාවිතා කළේ නම් එහි තිබුණ වී මෙම ගලට දමා වේලා මෙහිදීම සකස් කර දහයියා එම ස්ථානයේම දැමීමට සිදුවූ බව සිතිය හැක. ඒ අනුව දහයියා ගල ලෙස ව්‍යවහාර කරන්නට ඇත. මෙම ගල ඉහලින් කුඩාවටත් පහලින් විශාලවත් පිහිටා ඇති අතර ගල මුදුනට පැමිණිවිට කන්දට යෑමට ඇති මාර්ගය හමුවේ. මෙම ස්ථානයේ වෘත්තාකාර ගල් කුලක් දැකගත හැකි වේ. මෙය උගුල් ගලක් යැයි සිතිය හැක. මෙම ස්ථානයෙන් ආරම්භ වන මාර්ගය ඔස්සේ කළුවර, කළුමැදිරිය, කළුවැල්ල, වීර, මිල්ල, කොතල හිඹටු,හිඹුටු ආදී වටිනා ගස්වැල් පසුකරගෙන කන්ද තරණය කරනවිට තුන්මන් හංදියක් හමුවේ. එක් මාර්ගයක් නැගෙනහිර දෙසටත් අනෙක් මග උතුර දෙසටත් වැටි ඇත. මුලින් සඳහන් කළ උතුරු දෙසට පිහිටි මග පටන් ගන්න ස්ථානයේම විශාල ගල් බැම්මක් හමුවේ. මේ ගල් බැම්ම හැඳින්වෙන්නේ ගලකොටු බැම්ම යනුවෙනි. මෙම බැම්ම අක්කර හතලිහක් හෝ පනහක් පමණ භූමි ප්‍රදේශයක් වටා බැඳ තිබේ. මෙම කන්දෙහි පෙර කල “මංගර” නමින් රජ කෙනෙකු සහ කණබිසොව නමින් බිසවක ජීවත්ව සිට ඇත. මෙම රජුගේ ආරක්ෂක පවුර ලෙස මෙම ගල් බැම්ම බඳින්නට ඇතැයි සිතිය හැක. මෙම ගල් බැම්ම පසු කරත්ම තවත් විශාල ගලක් හමුවේ. එය දෙවන ගලය මෙම ගල පසු කරගෙන වයඹ දෙසට ගමන් කරනවිට මුලින් සඳහන් කරන ලද ගල කොටු බැම්මේ අනෙක් කෙළවර හමුවෙයි. මෙම ස්ථානයත් පසු කරත්ම සුවිශාල ගල් පර්වතයක් හමුවේ. මෙය තුන්වන ගලයි. මෙයට බඹරගල කියා නම්කර ඇත. පටබැඳි තවත් නම් රාශියක් ඇති අතර ඉන් හුලංගල, කොඩිගල යන නම් දෙකත් මුලින් සඳහන් කළ බඹරගල යන නමත් මිනිසුන් අතර ප්‍රසිද්ධියක් දරයි. තවත් ජන කවියක සඳගිර ලෙසත් සඳහන් වේ.


මෙම ගලට බඹරගල ලෙස ව්‍යවහාර කරනුයේ ගලේ බඹර හැටකට නොඅඩු සංඛ්‍යාවක් නිතරම තිබෙණ නිසා යැයි කියති. එම අරුතින්ම මෙම ගලට බඹරගල යැයි නම්කර ඇති අතර මෙම ගලෙහි පිහිටීම නිසා මෙම ගලට බඹරගල කන්ද කියාද නම්කර ඇත. මේ ගැන සඳහන්වන ජන කවියක් ඇත. එය මෙසේය,

අයියෝ දෙවියනි සඳගිර මුදුනේ බඹර සැටක් බැන්දාය         ගලේ
බඹර සැටම මම බලාන්න යනකොට දිවියොත් වලහැඩි බෝය කැලේ
බඹර සැටම මට කපන්න පුළුවනි මංගර දෙවිඳුගෙ පිහිට         බලේ
ගමින් ගමට පාරට්ටු කියාන්නට බැන්ද බඹර නවරත්න         ගලේ

 

මෙයින් සඳගිර (බඹරගල) මුදුනේ බඹරවද හැටක් බැඳ තිබුණු බවත් එක් දිනක තමා ඒවා බලන්නට යනවිට ඒ අවට කැළයෙහි දිවියන් හා වලසුන් බහුලව සිටි බවත් ජන කවියා කියයි. මංගර දෙවියන්ගේ පිහිටෙන් නවරත්න ගලෙහි (බඹරගල) වර්ණනාව ගමක් පාසා ප්‍රසිද්ධ වන ආකාරයට එම බඹර වද හැටම කපා ගැනීමට තමාට හැකියාව ඇති බව මෙමගින් ඔහු තවදුරටත් පවසයි.


මෙම කන්දේ උසම ස්ථානය මෙම ගල මුදුනයි. එමනිසා මුළු ප්‍රදේශයටම මෙම ගල පෙනේ. මෙසේ පෙනෙන නිසා මංගර රජ්ජුරුවන්ගේ කොඩිය සිටුවන්නට ඇති. එම නිසා මෙම ගලට කොඩිගල ලෙස ව්‍යවහාර කරන්නටද ඇත. මෙම ගලට හුලංගල ලෙස ප්‍රකාශ වන්නේ අසළ කන්දක් නොමැති නිසා එන හුළං පාර මෙම ගලේ වැදී භ්‍රමණය වන හෙයිනි. මෙහි සිටීමටවත් නොහැකි ලෙස තද සුළඟක් ඇත. මේ කරුණ හේතුවෙන් හුලංගල ලෙස ව්‍යාවහාර කෙරෙයි.


මෙම ගල මුදුනට කන්දේ කෙළවර කුඩා කඳු ගැටයක් දිස්වේ. මෙම කන්ද මුදුනේද සුවිශාල දිග පළල ඇති රමණීය ගල් තලාවක් පිහිටා ඇත. මෙය හතරවන ගලය. මෙම ගලට පැණි බෙදූ ගල යනුවෙන් ව්‍යවහාර කෙරේ. එයට හේතුව බඹර කපා මෙම ගලට ගෙනැවිත් සියලු දෙනා සමඟ බෙදා ගැනීමයි. මුලින් සඳහන් කරන ලද බඹරගලට පැමිණෙන මාවතෙහි ඇති දෙවන ගලින් මදක් නැගෙනහිරට ගමන් කර නැවත මදක් ඉහලට ගමන් කළපසු සුවිශාල පොකුණක් හමුවේ. මෙය නියං සමයට සිඳී යයි. එය නම්කර ඇත්තේ  “කුට්ටම් පොකුණ”මෙය මැදින් කුඩාවටත් දෙපැත්තෙන් විශාලවටත් පිහිටා ඇත. ඒ හේතුව නිසා මෙම පොකුණට කුට්ටම් පොකුණ යනුවෙන් නම්කොට ඇත. පොකුණ පසුකර යත්ම ගලකොටු බැම්ම හමුවේ. මෙම බැම්ම අසලින් නැගෙනහිර දෙසට ගොස් ගලෙන් බැස දකුණු දෙසට ගමන් කරනවිට උළු කැට කැබලි ඇත් ස්ථානයක් දැකගත හැකි වේ. මෙම ස්ථානයෙන් ගිණිකොණ දෙසට ගමන් කරන විට ප්‍රධාන මාවත හමුවේ. යලි මෙම මාවත ඔස්සේ මද දුරක් නැගෙනහිරට ගමන් කරනවිට සාමාන්‍ය ගලක් හමුවේ. මෙය පස්වන ගල් තලාවය. මෙම ගලත් පසුකර ඊසාන දෙසට ඇදී යනවිට තවත් විශාල ගලක් හමුවේ. මෙය හයවන ගලයි. මෙය හඳුන්වන්නේ “කණබිසෝ ගල” ලෙසය. මෙම ගලට කණබිසෝ ගල ලෙසත් පොකුණු ගල ලෙසත් නම්කර ඇත. මෙය කණබිසෝ ගල ලෙස හඳුන්වන්නේ කණබිසව ස්නානය කළ පොකුණ පිහිටා තිබීම නිසාය. මෙම ගලට පොකුණු ගල කියා ව්‍යවහාර ක්රන්නේ මෙම ගලේ තිබෙණ සුවිශාල පොකුණ පිහිටා තිබීම නිසාය.මෙම පොකුණට කණබිසෝ පොකුණ ලෙසත් වැහි වස්සන පොකුණ ලෙසත් නම්කර ඇති අතර කණබිසෝ පොකුණ යනු මංගර රජ්ජුරුවන්ගේ බිසව ඇස් අන්ධ වීමෙන් පසුව කණබිසව නම් වී එම කණබිසව ස්නානය කළ පොකුණ නිසා කණබිසෝ පොකුණ යන නම පටබැඳී ඇත. මෙම පොකුණ ගැනත් ගල්පාය ගමට ගල්පාය යන නම ලැබුණ අන්දමත් කණබිසව ගැනත් ජන කවියක මෙසේ සඳහන් වේ.

නමින් පැවත ගල්පායට පළමුව ගලේ මාළිගාවක් සැදු        නේ
උනමායක් කර මුරුව කොටාලා පොකුණ මවා දුන් බිසවරු     නේ
දියවර නෑමට පිරිසිදු වීමට පොකුණට බැස්සයි බිසවරු         නේ
කපමින් උගුවැල වැටෙමින් ගලපිට බිසවරු ගිය අත නැත දන්     නේ

 

එයින් විස්තර වන්නේ ගල්පාය ගම ආරම්භ වීමට පෙර ගලේ මාලිගාවක් තිබූ බවයි. පොකුණ මවාදුන් බිසව ස්නානය කිරීමට හා පිරිසිදු වීමට පොකුණට ගියාය. එසේ ගමන් කරනවිට සේවකයින් අත්වැල කැපුවාලු ඒ අවස්ථාවේදී බිසව ගල පහලට පෙරලිණි. ඉන්පසු බිසවුන්ට කුමක් වුණි දැයි නොදන්නා බව එම ජන කවියෙන් විස්තර වෙයි.


මෙම පොකුණට ම වැහි වස්සන පොකුණ යන නමද පටබැඳි ඇති අතර ඉට හේතුව නියං සමයට මෙම පොකුණ ළඟට ගොස් භාර හාරවි  දිය ඉසිමෙන් පසු මහා වැහි කුණාටුවක් විත් දුර්භික්ෂය පලවා හැර වැස්ස වසින බවට පැරණි මතයක් පැවතිමයි. 


මෙම කණබිසෝ ගලටත් මුලින් සඳහන් කළ පස්වන ගලටත් අතරින් පහලට බැස ගිණිකොණ දෙසට ගමන් කළවිට විශාල උස දිග පළල ඇති  ගල්ලෙනක් හමුවේ. මෙය පහලොස්වන ලෙනයි. මෙම ගල් ලෙනෙහි කාමර තුනකට වෙන්කර අඩියයි අඟල් හයක් පමණ පළල බිත්ති බැඳ වෙන්කර තිබේ. මෙම බිත්තියේ මුල කොටස අඩි දෙකයි අඟල් තුනක් පමණ වේ. මෙහි උළුවසු තුනක් පමණ තිබී ඇත. මින් එක උළුවස්සක් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙණ බව කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමීන්වහන්සේගේ “සපරගමුවේ දර්ශන”නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. මෙහි තවත් ජනේලයක්ද තිබී ඇත. ජනපුවාද වලට අනුව මුලින් සඳහන් කරන ලද මංගර රජුගේ බිසව මෙම ලෙනෙහි වාසය කළ බව සඳහන් වේ. මෙම ලෙන හඳුන්වන්නේ කණබිසෝ ලෙන ලෙසය. ඊට මෙම නම ලැබී ඇත්තේ මංගර රජුගේ බිසව එහි විසූ නිසාය. මේ බිසවට කණ බිසව නම ලැබුණේ ඇස් දෙකම අන්ධ නිසාය. මේ බිසවගේ ඇස් අන්ධ වීමට හේතු වී ඇත්තේ මංගර රජුට ඉතා වටිනා මැණිකක් තිබූ අතර මෙම රජු රාජසභාවට යනවිට මෙම මැණික් ගල අතට ගෙන බලන පුරුද්දක් තිබී ඇත. එවිට රජුට වාසනාව ගෙන දී ඇත. කෙසේ වෙතත් වෙන කවුරුම හෝ මෙම මැණික දෙස බැලුවොත් එවෙලේම ඔහුගේ හෝ ඇයගේ ඇස් අන්ධ වන බව කියැවේ. මේ හේතුව නිසා බිසවට ඒ කාමරය පැත්තටවත් නොයන ලෙස කියා තිබුණි. එක් දවසක් රජතුමා ගමනක් ගියේය. ඒ ගියේ මැණික තිබෙණ කාමරයට ගොස් මැණික බලා දොර අඟුළු දැමීමෙන් පසුවයි. රජු ගියපසු බිසවට මෙම මැණික බැලීමට ආශාවක් ඇතිවී බිසව යතුරු කපොල්ලෙන් එක ඇසක් තබා බැලුවාය. එවිට ඒ ඇස අන්ධ විය. අනෙක් ඇසින්ද එසේ බැලූ විට එයද අන්ධ විය. ඈ අන්ධ වූයේ එසේය. මෙසේ ඇස් අන්ධ වුනු බිසවට රජ්ජුරුවන් විසින් සේවකයන් යොදවා උපස්ථාන කර ඇත. පසුව මේ කණ බිසව මුලින් සඳහන් කළ කණබිසෝ ගල පහලට පෙරලා මරා දමා ඇත. රජතුමා බෙහෙවින් සංවේගයට පත්වී ගල් පෙට්ටියක් තනවා එහි බිසවගේ දේහය තැන්පත් කර බිසවගේ ආභරණත්, වස්තුවත්, පෙරකී මැණික් ගලත් සමඟ මෙම ගල්ලෙනේ කෙළවර රත්තරන් පොලු තුනක් මත මෙම දේහය සහ වස්තුව සහිත ගල් පෙට්ටිය තැන්පත් කර ගල්වලින් වසා යකුන්ට කැපකර ඇති බව සඳහන් වේ.


මෙම බිසව විමාන ප්‍රේතියක වී මෙහි වාසය කරන බවත්, තවමත් ඇස් අන්ධ බවත් ඉපැරණි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළහොත් ඇස් පෙනෙන බවත් කියනු ලැබේ. මෙම ස්ථානයට යෑමට දෝනාවක් (ගල් කපොල්ලක්) තිබුණු බව පැරණි ගම්වාසීහු පවසති. එක් දවසක් දඩයමේ ගිය දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ මෙය ඇතුලේ තිබෙන්නේ මොනවාදැයි බැලීමට කතිකා කරගෙන දෝනාව දිගේ ඇතුලට ගියවිට ඇතුලේ මහා ශාලාවක් වැනි බිංගෙයක් හමුවී ඇති අතර මෙම බිම්ගේ කෙළවරේ විශාල පිඹුරෙක් සිටිනු දැක ඇත. මොවුන් බෙහෙවින් බියවී අතේ තිබුණු තුවක්කු වලින් පිඹුරට වෙඩි තබා ඇති අතර එවිටම විශාල දුමක් මතුවී කිසිවක් නොපෙනී ගොස් ඇත. පසුව මොවුන් පණ බේරාගෙන එලියට පැමිණි බව සඳහන් වේ.


මුලින් සඳහන් කරන ලද පහලොස්වන ගල්ලෙන ළඟින් බස්නාහිර දෙසට ගමන් කරන විට දාහත්වන ලෙන හමුවේ. මුලින් සඳහන් කළ කණබිසෝ ගලට ගොස් එහි පැමිණි ප්‍රධාන පාර දිගේ ගමන් කරනවිට මහ ගල් පර්වතයක් හමුවේ. මෙය පය සලන ගලයි මීට පය සලන ගල යයි කියන්නේ මංගර රජු මෙම ගල උඩ සිට ගල පහලට කකුල් දමා සොලව සොලවා ගමේ අසිරිය බලමින් සිටි නිසා බව පැවසෙයි. මෙහි කියවෙන මංගර රජු කළුරිය කළපසු මංගර දෙවියන් නමින් ගවයන්ට අධිපති දෙවියෙකු වී ඉපදුනු බවට විශ්වාසයක් පවතී. ගවයන් පිළිබඳ භාරහාර වන්නේ මෙම දෙවියන් ළඟයි. 
මෙම බඹරගල අරණ ගැන තවත් ජනකතා රාශියක් ඇත. මෙම බඹරගල කන්දේ පළතුරු වත්තක් තිබෙණ බවත් අතරමංවී යන කෙනෙකුට එම උයන හමුවන බවත් ඔහුට සෑහෙන පමණ පළතුරු අනුභව කිරීමට පුළුවන් බවත්, එක පළතුරක්වත් ගෙන ඒමට නොහැකි බවත් ජනකතාවල සඳහන් වේ.


මේ හා සඳහන් කරන ලද දගු ඉතිහාසයක් තිබෙන්නා වූත්, එසේම අනුහස් තිබෙන්නා වූත් මෙම බඹරගල වන සෙනසුන එසේ නැතිනම් බඹරගල කඳු ශිඛරය අදත් මහා හස්ති රාජයෙකු විලසින් ගාම්භීර තේජසින් ශත වර්ෂ 23 ක් තරම් ඉතිහාසයක් දරාගෙන තවමත් නොසෙල්වී සිටින බව පැවසිය හැකිය.

 

අම්මඩුව කුඩා කතරගම දේවාලය

වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්මඩුව ග්‍රාම නිලධාරී වසමට අයත් මෙම ඓතිහාසික පුදබිම රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගොඩකවෙල නගරයෙන් හැරී අම්මඩුව මාර්ගයේ කි.මී. 08 ක් පමණ දුර ගමන් කළවිට මෙම ඓතිහාසික දෙවොලට ළඟාවිය හැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර වලට අනුව ක්‍රි.ව. 14 වන සියවසට අයත් ලෙස සැලකේ. කෝට්ටේ යුගය දක්වා ඈත අතීතයකට උරුමකම් කියන මෙම දේවාලය ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇත. අගලගමුවේ කුරුප්පු මුදියන්සේ රටේ රාළ විසින් කරවන ලදී. මෙම දේවාලය ඉදිකිරීමට හේතු ලෙස, උග්ගල් අලුත් නුවර ඇති කතරගම දේවාලයට පුජෝපහාර දැක්වීම සඳහා ගිය බැතිමතුන් පිරිසක් එහි නවාතැන් පහසුකම් නොවූ බැවින් කෝපයට පත්වී අටකලන් කෝරළයේ ඇති අම්බැවිල නම් ස්ථානයේ තුඹසක දමාගිය පූජා භාණ්ඩ තොගයක් අගලගමුවේ කුරුප්පු මුදියන්සේ රටේ රාළ රාමගිරි බ්‍රාහ්මණ රාළ සමඟ එක්ව කෝට්ටේ යුගයේ විසූ පරාක්‍රමබාහු රජුට සැලකොට අම්මඩුව ගමට ශ්‍රී සන්නස් පත්‍රයක් හා කළඹ හතරක් ප්‍රධානය කළ බව ඉතිහාසයෙහි සඳහන් වේ. 


අඩි 88 ක් දිගින් යුක්ත වූ මෙම දේවාලයෙහි ඇති ප්‍රධාන ගොඩනැගිල්ල කොටස් හතරකින් යුක්ත වේ. පැතලි උළු සෙවිලි කරන ලද සතරැස් වහල හා මුදුනෙහි ඇති කොත් කැරැල්ල නිසා දේවාලයට විශාල අලංකාරයක් එක් කරනු ලබයි. ප්‍රධාන ගොඩනැගිල්ලට යාබදව පත්තිනි කෝවිලක්ද පිහිටා ඇත. මෙහි කපුවන්ට නැටුම් බැලීම සඳහා කුණ්ඩශාලයත්, පෙරහැර වීථි සංචාරය කර ගිමන් හැරිම සඳහා සිංහාසනයක්ද මෙහි ඉදිකර ඇත. තවද මෙම දේවාලයෙහි ආරක්ෂාව සහ අලංකාරය සඳහා ප්‍රධාන ගොඩනැගිල්ල වටා අලංකාර වූ පවුරක් ඉදිකර ඇත. අම්මඩුව කතරගම දේවාලය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වූ ස්ථානයක් බව කිව හැකිය.

 

ඓතිහාසික කන්දේ පුරාණ රජමහා විහාරය

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, රත්නපුර - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ඕපනායක නගරයේ සිට කි.මී. 1.5 ක් පමණ බලංගොඩ දෙසට ගමන් කිරීමේදී කන්දේ විහාර හංදිය අපට හමුවේ ඉන් වම්පසට ඇති ඇති මාර්ගයේ මීටර් 800 ක් පමණ ගමන් කිරීමේදී මෙම ඓතිහාසික කන්දේ පුරාණ රජමහා විහාරය හමුවේ.


ස්වාභාවික වනයකින් පිරි රමණීය කඳු ගැටයක මෙම විහාරය පිහිටා ඇත. ඉපැරණි ලේඛණ වල මෙම විහාරය හඳුන්වා ඇත්තේ ශ්‍රී චන්ද්‍රසේකරාරාම කන්දේ පුරාණ රජමහා විහාරය, කන්දේ විහාරය, ගල්ගේ විහාරය යන නම් වලිනි. මෙම කඳුගැටයේ පහල කොටසේ සංඝාවාසය හා දාන ශාලාව ද දෙවන කොටසේ ධර්ම ශාලාවද ඉදිකොට ඇත. සංඝාවාස භූමියේ සිට විහාර මළුවට පිවිසුම් මාර්ග දෙකක් වෙයි. වාහල්කඩ දෙකක් සහිත පඩි 140 කින් යුක්ත පියගැටපෙලකින් විහාර මළුවට පිවිසිය හැක. කන්දේ ඉහල කොටසේ පූජනීය ගොඩනැගිලි, චෛත්‍යය, බෝධිය,ගල්ලෙන් විහාරය, දේවාලය ආදිය පිහිටා තිබේ.

 

මෙහි විහාර ගෙය අඩි 150 ක් පමණ දිග අඩි 15 ක් පමණ උස ගල් ගුහාවක් තුල පිහිටා තිබේ. ගල් ගුහාවේ මැද කොටසේ අඩි 55 ක් පමණ වූ ඉපැරණි විහාරය හා පැරණි දේවාලය ඉදිකර ඇත. මෙම විහාරය වලගම්බා රජ සමයේ ඉදිකරන ලදැයි සැලකේ. ගල්ලෙනේ කොටා ඇති කටාරම දඹුළු රජමහා විහාරයේ කටාරමට සමානය. මෙහි ඇති හිඳි පිළිමය හා සැතපෙන පිළිමයද දඹුළු විහාරයේ පිළිමවලට සමානකමක් දක්වයි. මෙහි ඇති චිත්‍ර නුවර යුගයට අයත් වේ. ඒ අනුව මෙම ඓතිහාසික කන්දේ පුරාණ රජමහා විහාරය ඕපනායක ප්‍රදේශයට විශාල ඓතිහාසික අගයක් එක් කිරීමට සමත්ව ඇත. 
 

ශ්‍රී වජිරාරාමය විහාරස්ථානය - අම්බැවිල


 
පල්ලෙබැද්ද - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ කි.මී. 08 ක් පමණ ගමන් කරනවිට අම්බැවිල මංසංධිය හමුවේ. මෙම මංසංධිය පසුකර බලංගොඩ දෙසට ගමන් කරනවිට මනස්කාන්ත අම්බැවිල වෙල් යාය හමුවේ. එම වෙල්යාය පසු කරනවාත් සමඟ අම්බැවිල ශ්‍රී වජිරාරාමය දැකගත හැකිය. මෙම පළාතේ ඇති පංසල් කීපයක මූලස්ථානය වන මෙම පංසල චෛත්‍යයක්, බෝධියක්, විහාර ගෙයක්, ආවාස ගෙයක්, දාන ශාලාවක් ආදී පංසලක තිබිය යුතු සියලුම අංග වලින් සමන්විත වේ. මෙම පංසල ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ හටංගල ශ්‍රී වජිරවංශ නම් ස්වාමීන් වහන්සේ විසිනි. මේ වනවිට ආගමික, සංස්කෘතික, සමාජීය වශයෙන් අනුපමේය සේවයක් ඉටුවන මෙම පංසල මගින් අම්බැවිල ගමට මහඟු සේවයක් සිදු කරනු ලබයි.